පුවත්

වෙළෙඳ හිඟය අඩු මට්ටමක පැවතීම, සංචාරක ඉපැයීම්හි වූ අඛණ්ඩ වර්ධනය සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ මන්දගාමී ව වර්ධනය වීම සමඟ 2015 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. මෑත මාස කිහිපය තුළ දී භාණ්ඩ ආනයනය අඩ වුව ද, ගෝලීය ඉල්ලුම පහළ යෑම හමුවේ අපනයන අඩු වීම හේතුවෙන් 2015 ඹක්තෝබර් අග වන විට සමුච්චිත වෙළෙඳ හිඟය සියයට 2.5 කින් වැඩි විය. 2015 ඔක්තෝබර් මස අග වන විට දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 6.5 ක් වූ අතර නවවන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුව මගින් වූ ලැබීම් සහ අනෙකුත් විනිමය ලැබීම් සමඟ 2015 නොවැම්බර් මාසයේ දී දළ නිල සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 දක්වා ඉහළ ගියේ ය.

පුළුල් මුදල් සැපයුම (M2b) වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 2014 පෙර මාසයේ වාර්තා වූ සියයට 16.0 සිට 2015 ඔක්තෝබර් මාසයේ දී සියයට 17.0ක ඉහළ අගයකින් තවදුරටත් වර්ධනය වූ අතර මේ සඳහා බැංකු පද්ධතිය මගින් පෞද්ගලික හා රාජ්‍ය අංශවලට ලබා දුන් ණය වර්ධනය දායක විය. පෞද්ගලික අංශය වෙත වාණිජ බැංකු විසින් සපයන ලද ණය ප්‍රමාණය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා වූ සියයට 22.2ක වර්ධනය හා සාපේක්ෂ ව සියයට 26.3කින් වර්ධනය විය. පෞද්ගලික අංශය වෙත වූ ණය ගලා යෑම තවදුරටත් ඉහළ අගයකින් වර්ධනය වී ඇතැයි 2015 නොවැම්බර් මාසය සඳහා වූ තාවකාලික දත්ත මගින් ද තහවුරු වේ. මේ අතර, මුදල් වෙළෙඳපොළ අතිරික්ත ද්‍රවශීලතාව අඛණ්ඩ ව ඉහළ අගයක පැවතීම ද මුදල් ප්‍රසාරණය ඉහළ නැංවීමට හේතු වී ඇත.

කොළඹ මහ නගර සභාව රට වෙනුවෙන් කරන ලද සේවාව ඇගැයීම සහ එහි 150 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රුපියල් 500ක් වන විශේෂ රිදී සමරු කාසියක් නිකුත් කරන ලදි.

Pages

AltStyle によって変換されたページ (->オリジナル) /